Twitter

Friday, September 29, 2017

eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු තැබීම. කොටස් 05

ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේ ලිපි පෙළින් අපි ගොඩක් උත්සාහ කළේ eBay වෙතින් භාණ්ඩ මිලදී ගන්න විදිය ගැන 'අ' යන්නෙ ඉඳන් පාඨකයාට කියා දෙනවට වඩා, මෙවැනි අන්තර්ජාල ගණුදෙනු ගැන පාඨකයාගේ හිතේ ඇති බොරු බිය නැති කරලා මෙවැනි අන්තර්ජාල ගණුදෙනු වලට පඨකයාව හුරු කරවන්නයි කියන එක. ඒ නිසාමයි eBay ගිණුමක් හදාගන්නා විදිය, PayPal ගිණුමක් හදාගන්නා විදිය වැනි පුංචි පුංචි දේවල් ගැන මේ ලිපි මාලාව හරහා කියා නොදුන්නෙ. මොකද එවැනි දේවල් ඕනම කෙනෙක්ට ස්වඋත්සාහයෙන් කරගන්න පුළුවන් දේවල්. eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩය තෝරාගන්න ආකාරය මේ ලිපි මාලාව හරහා කියා දුන්නෙත් තෝරගත්තු භාණ්ඩයක් ඇණවුම් කර මිලදී ගන්න විදිය කියා නොදුන්නෙත් මෙන්න මේ කාරණය නිසාමයි. මොකද තමන්ට අවශ්‍ය භාණ්ඩය තෝරා ගත්තු කෙනාට ඕකෙ Buy it Now බොත්තම ඔබලා Payapal username password දීලා Paypal වෙතින් මුදල් ගෙවන එක ආයෙ අමුතුවෙන් කියා දිය යුතු දෙයක් හැටියට නෙමෙයි මම දැක්කෙ.

නමුත් eBay Auctions වලින් භාණ්ඩ මිලිදී ගැනීම එහෙමත් නැත්නම් eBay වල bid කර භාණ්ඩ මිලදී ගැනීම නම් ඒ ගණයට අයත් වෙන්නෙ නෑ. ඉතිං අන්න ඒ නිසයි eBay Auctions වලින් bid කර භාණ්ඩ මිලිදී ගන්නා ආකාරය ගැන අද මේ කුප්පිය දාන්නෙ. එහෙනං දැන් වෙනදා වගේම අපේ සුපුරුදු ප්‍රශ්නෝත්තර ක්‍රමයට යමු.



eBay Auctions නැත්නම් eBay bidding කියන්නෙ මොකද්ද?
  • eBay ගැන මුල්ම ලිපියෙදි අපි, මේ eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ කිව්වා මතක ඇති. මෙන්න‍ මේ පොළේ කෙලින්ම ගිහින් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ වගේම වෙන්දේසි කරන භාණ්ඩත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ වගේ eBay තුළ භාණ්ඩ වෙන්දේසි කිරීම් වලට තමයි eBay Auctions කියලා කියන්නෙ. මෙවැනි වෙන්දේසි වල ලංසු තියෙන එකට තමයි bid කරනවා කියලා කියන්නෙ.

eBay Auctions තුළ bid කරන්න පුළුවන් කාටද?
  • විශේෂයක් නෑ. eBay ගිණුමක් තියෙන ඕනෑම කෙනෙක්ට eBay Auctions (වෙන්දේසි) තුළ bid කරන්න (ලංසු තියන්න) පුළුවන්.

eBay තුළ මෙසේ වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ අපි හඳුනගන්නෙ කොහොමද?
  • එක විදියක් තමයි භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නම ඉදිරියේ 0 Bids, 1 Bid, 6 Bids [2] ලෙස දැනට ඒ භාණ්ඩය සඳහා ඇති Bids ගණන (ලංසු ගණන) සටහන් වී තිබීමෙන්.
  • අනෙක් විදිය තමයි සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහලින් ඇති Auctions only ටැබය [1] එබීමෙන්. මෙසේ Auctions only ටැබය එබීමෙන් වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ පමණක් දැක්වෙන ලැයිස්තුවක් අපට ලබාගන්න පුළුවන්.


eBay වෙන්දේසියක් (Auction එකක්) සාමාන්‍ය වෙන්දේසියකින් වෙනස් වෙන්නෙ කොහොමද?
  • සාමාන්‍යයෙන් සැබෑ ජීවිතේ වෙන්දේසියක් සිදු කරන්නෙ යම් පුද්ගලයෙක් මැදිහත් වෙලා. ඒ පුද්ගලයා වෙන්දේසියෙ ආරම්භක වටිනාකම පැවසුවායින් පසුව ගැනුම්කරුවෙකුට පුළුවන් ඊට වැඩි අගයක් පවසලා ලංසුවක් තබන්න. ඊටපසු තවත් වෙනත් ගැණුම්කරුවෙකුට පුළුවන් ඊටත් වැඩි අගයක් පවසලා වැඩි ලංසුවක් තබන්න. මෙසේ කෙමෙන් මෙන් එම භාණ්ඩයේ වටිනාකම වැඩි වෙලා අවසානයේ එම භාණ්ඩය හිමිවෙන්නෙ, ඈවරයි දෑවරයි තුන් ඈවරයි ලෙස මැදිහත්කරු පවසත්දිත්, කිසිවෙකුත් තවත් ලංසු තබන්නට ඉදිරිපත් නොවුනහොත්, එම භාණ්ඩයට වැඩිම ලංසුව තැබූ ගැණුම්කරුටයි.
  • eBay තුළ වෙන්දේසි වලදි මෙලෙස පුද්ගලයෙක් මැදිහත් වෙන්නෙ නෑ. eBay වෙන්දේසි සිදුවෙන්නෙ යම් කාල සීමාවක් උපයෝගී කරගෙන. eBay තුළ සෑම වෙන්දේසියකටම එම වෙන්දේසිය අවසන් වන නිශ්චිත වේලාවක් (ending time එකක්) තිබෙනවා. වෙන්දේසිය (Auction එක) අවසානයේ භාණ්ඩය හිමිවෙන්නෙ මෙන්න මේ වේලාව වෙද්දි භාණ්ඩ සඳහා වැඩිම ලංසුව (bid එක) තබා ඇති ගැනුම්කරුටයි (buyerටයි).

eBay Auction එකක් අවසානයේ භාණ්ඩය මිල දී ගත හැක්කේ කාටද?
  • ඉහතදී සඳහන් කළ පරිදි අවසානයේ භාණ්ඩය මිලදී ගත හැකි වන්නේ වෙන්දේසිය (Auction එක) අවසන් වන වේලාවෙදි වැඩිම ලංසුව (bid එක) තබා ඇති ගැනුම්කරුටයි.

යම් භාණ්ඩයක වෙන්දේසිය අවසන් වල වේලාව අපි දැනගන්නෙ කොහොමද?
  • මෙයත් භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නමට ඉදිරියෙන් සඳහන් වී තිබෙනවා. බොහෝ විට මෙය සඳහන් වෙන්නෙ වෙන්දේසිය අවසන් වීමට ඉතිරි වී ඇති කාලය, එනම් Time left format ලෙසින්.
  • අවශ්‍යවනම් මෙය වෙන්දේසිය අවසන් වන දිනය සහ වේලාව‍ ලෙසින් දැකගන්නත් ඔබට පුළුවන්. මේ සඳහා කරන්න තියෙන්නෙ Custom view වෙත ගොස් 'Show time in:' යන පසුතලය (setting එක) Date format ලෙස වෙනස් කිරීමෙන් පුළුවන්. [3]


ඇතැම් eBay Auction භාණඩ වල මිල ඉතාම අඩුයි. මෙසේ වන්නේ කොහොමද?
  • මෙලෙස ඉතා අඩු‍වෙන් සටහන් වෙන්නෙ ඇත්තටම ඒ භාණ්ඩයේ විකුණුම් මිල නෙමෙයි. එලෙස සටහන් වෙන්නෙ එ‍ම භාණ්ඩය සඳහා මේ වන විට තබා ඇති වැඩිම ලංසුවයි (current bid එකයි). Auctions එකක් ආරම්භ කළ සැනින් ඕනෑම භාණ්ඩයක current bid එක ඉතා අඩුයි. එය සීඝ්‍ර ලෙස වැඩි වෙන්නෙ Auction එකක් අවසාන වන අන්තිම විනාඩි කීපයෙයි.

අපිට Auction එකකට bid කරන්න පුළුවන් කොයි වෙලාවෙද?
  • Auction එකක් ආරම්භ කළායින් පසු ඕනෑම වේලාවක (එනම් search results list එකක ඇති ඕනෑම Auction භාණ්ඩයකට) අපිට bid කරන්න පුළුවන්. නමුත් එලෙස bid කළ භාණ්ඩයේ Auction එක අවසන් වන තෙක් අපි අවධානයෙන් සිටිය යුතුයි.

ඉක්මණින් අවසාන වන Auctoin භාණ්ඩ වල ලැයිස්තුවක් අපට ලබාගන්න බැරිද?
  • පුළුවන්. මේ සඳහා කරන්න තියෙන්නෙ ඔබේ භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුව (search results list එක) Time: ending soonest ලෙස sort කිරීමයි. [4]

යම් භාණ්ඩයක් සඳහා Bid කරන්නෙ කොහොමද?
  • යම් භාණ්ඩයක භාණ්ඩ විස්තරයට (item description එකට) ඉහලින් (සාමාන්‍ය භාණ්ඩයක අපි Buy it Now බොත්තම ඔබන තැන) Auction භාණ්ඩ වල සටහන් වෙන්නෙ Place bid කියලා බොත්තමක්. ඊට ඉදිරියෙන් Current bid සහ Your max bid ලෙස සඳහන් වෙනවා. මෙහි Current bid ලෙස සඳහන් වෙන්නෙ එම භාණ්ඩය සඳහා මේ වන විට ඇති වැඩිම ලංසුවයි. You max bid යන තැන අපිට අපේ වැඩිම bid එක සඳහන් කර Place bid බොත්තම ඔබා අපේ bid එක තබන්න පුළුවන්. අපිට සඳහන් කළ හැකි අවම bid එක එහි යටින් වරහන් තුළ සඳහන් වී තිබෙනවා. ඊට වැඩි ඕනෑම අගයක් අපිට bid කරන්න පුළුවන්.


Your max bid යන්නෙන් හැඟවෙන්නෙ කුමක්ද?
  • මෙහෙමයි. ඔබ Your max bid එක ලෙස කුමන අගයක් තැබුවත්, ඔබ bid කළායින් පසුව ඒ භාණ්ඩයේ Current bid එක වන්නෙ අර වරහන් තුළ සඳහන් වී තිබූ අගයයි. (වෙන අයෙක් ඊට වැඩි අගයක් max bid ලෙස තබා නොමැතිනම්) ඔබ max bid ලෙස සඳහන් කළ යුත්තේ ඔබට එම භාණ්ඩය සඳහා වියදම් කළ හැකි වැඩිම අගයයි. එනම් වෙනත් ගැනුම්කරුවෙක් ඔබ bid කළායින් පසුව ඇති current bid එකටත් වඩා වැඩි අගයක් bid කළහොත්, ඔහුගේ එම bid එකට වැඩි අගයක් ඉබේම අපේ නමින් bid වෙනවා. ඔහු ඊටත් වැඩි අගයක් නැවත bid කළොත්, නැවතත් ඔහුගේ bid එකට වැඩි අගයක් අපේ නමින් bid වෙනවා. මෙලෙස අප තැබූ max bid අගය වන තෙක්ම මෙලෙස අප වෙනුවෙන් bid කිරීම eBay අඩවිය විසින් සිදුකරනු ලබනවා.

අවසානයේ අපට භාණ්ඩය දිනාගත හැකි වන්නේ කොහොමද?
  • Auction එක අවසාන වල වේලාව වන විටත්, ඔබ තැබූ max bid අගයට වඩා වැඩි අගයක් වෙනත් කිසිම ගැනුම්කරුවකු විසින් bid නොකෙරුවහොත් ඔබට එම භාණ්ඩයේ දිනුම (භාණ්ඩය මිලදී ගැනීමේ හැකියාව) හිමිවෙනවා. මෙලෙස ඔබ දිනා ගත් භාණ්ඩය මිලදී ගැනීමේදී ඔබට ගෙවන්නට සිදුවෙන්නෙ ඔබ තැබූ max bid අගය හෝ ඊට අඩු අගයක් පමණයි.
භාණ්ඩයක් අප දිනූ විට ඒ බව අපට දැනුම්දෙමින් eBay වෙතින් අප වෙත එවන email එක.




අපේ max bid අගයට වඩා වැඩි අගයක් වෙනත් ගැනුම්කරුවකු bid ක‍ළහොත්?
  • මෙසේ වුවහොත් ඒ බව අපව eBay අඩවිය මඟින් email එකක් එවීමෙන් දැනුවත් කරනවා. ඉන්පසු අපට අවශ්‍යනම් අපේ max bid අගය නැවතත් වැඩි කරන්න පුළුවන්.

වෙනත් ගැනුම්කරුවකු අපේ bid එකට වඩා වැඩි අගයක් bid කළ විට ඒ බව අපට දැනුම්දෙමින් eBay වෙතින් අප වෙත එවන email එක.



අප bid කර දිනාගත් භාණ්ඩයක් මිලදී ගැනීම අනිවාර්යයිද?
  • ඔව්. අප යම්කිසි භාණ්ඩයකට bid කර ඒ භාණ්ඩයේ දිනුම හිමිවුනොත් අප එම භාණ්ඩ මිලදී ගැනීමට බැඳී සිටිනවා.

Bid කර දිනාගත් භාණ්ඩයක් මිලදී ගැනීමට අපට නොහැකි වුවහොත්?
  • මෙසේ සිදුවීමෙන් අපේ eBay ගිණුමෙ කීර්ති නාමයට හානියක් වෙනවා. ඒ හේතුවෙන් අප ඉදිරියෙදි සිදුකරන ඇතැම් ගණුදෙනු වලට අපට සම්බාධක පැනවෙන්න පුළුවන්. ඇතැම් sellersලා මෙවන් buyersලාට තවදුරටත් භාණ්ඩ ලබා දෙන්නෙ එසැණින්ම Pay ක‍ළහොත් පමණක් වන අතර ඇතැම් sellersලා මෙවන් buyersලාට භාණ්ඩ විකිණීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මෙවන් මුදල් නොගෙවීම් කීපයක් සිදුවීම ඇතැම් විට අපේ eBay ගිණුම සම්පූර්ණයෙන් වසා දැමීමට පවා හේතුවෙන්න පුළුවන්. එමනිසා ඔබ මිලදී ගන්න අපේක්ෂා කරන භාණ්ඩ වලට පමණක් bid කිරීමට වගබලාගත යුතුයි.

Bid කිරීම සඳහා භාණ්ඩයක් තෝරාගැනීමෙදි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?
  • ඇතැම් භාණ්ඩ වල current bid එක ඉතා අඩු වුනත් එම භාණ්ඩය සඳහා ප්‍රවාහන ගාස්තු (shipping cost) පැවතිය හැකියි. එම නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ search result list එකේ ප්‍රවාහන ගාස්තුත් දැකබලා ගැනීමට Custom view වෙත ගොස් Show shipping cost යන්න ටික් කරන්න.
  • Auctions වෙතින් ඔබට භාණ්ඩයක් දිනාගෙන මිලදී ගැනීමට නම් Auction එක අවසාන වන තෙක්ම සිටිය යුතු වෙනවා. එමනිසා සැමවිටම Auction එක අවසාන වීමට ඉතිරි වී ඇති කාලය ගැන සැලකිලිමත් වෙන්න.
  • ඔබට යම් භාණ්ඩයක් මිලදී ගැනීමට හදිස්සි නම් search results list එක Time: ending soonest ලෙස sort කර ඉක්මණින්ම අවසාන වන භාණ්ඩයක් සඳහා bid කරන්න.
  • ඕනෑම Auction එකක current bid එක සීඝ්‍ර ලෙස වැඩි වන්නෙ Auction එක අවසාන වීමට පෙර අන්තිම විනාඩි කීපයේ බව මතක තබාගන්න. ඔබ bid කළ භාණ්ඩයක Auction එකෙහි අවසාන විනාඩි කීපය eBay අඩවියට පිවිස අවධානයෙන් සිටීමට වගබලාගන්න.
  • ඔබ මින් පෙර bid කර නොමැති නම් සාමාන්‍යයෙන් මිල අඩු භාණ්ඩයක් සඳහා මුලින්ම bid කර ඒ පිළිබඳ අත්දැකීමක් ලබාගන්න. ඔබේ දැනුමට ඔබේ අත්දැකීම්ද එකතු කරගත් පසු මිල වැඩි භාණ්ඩ වෙත යන්න.

0 comments:

Post a Comment